මෙම වැඩසටහන යටතේ හොරණ ආසනයේ ද නිවාස 92ක් ඉදිකිරීමට නියමිතය. ඒ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 61ක් සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 31ක් වශයෙනි.
එයින් පළමු වැඩසටහන ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 621 ඩී රත්මල්ගොඩ බටහිර ග්‍රාමසේවා වසමේදී ඇරඹිණි. රත්මල්ගොඩ යමුනා හේමමාලි (34) මහත්මියගේ පවුල වෙනුවෙන් එම නිවසේ ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
නිවසේ ගෘහ මූලිකත්වය දරන තිස්හතර හැවිරිදි යමුනා හේමමාලි මහත්මියට දියණියන් දෙදෙනෙකි. තම දියණියන් දෙදෙනාද සමඟ අනාරක්ෂිතව කුඩා නිවසක ජීවත්වූ ඇය මේ සඳහා තෝරා ගනු ලබන්නේ නිවාස සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ගමේ සංවර්ධන නිලධාරින්ගේ අධීක්ෂණයෙනි.
ස්ථිර පදිංචිය ඇති නමුත් ස්ථිර නිවසක් නැති අඩු ආදායම්ලාභී පවුලක් වීම, කාන්තා මූලික පවුලක් වීම, දිගු කාලීන නිදන් ගත රෝග වලින් පෙළෙන පුද්ගලයන්ගෙන් සමන්විත වීම, නිවසක් තනාගැනීමේ අභියෝගයට ලක්වූ පවුලක් වීම, පාසල් යන දරුවන් සිටීම , පාරම්පරික දේපළක් හෝ වත්කම් නොතිබීම යන අවශ්‍ය සියලු නිර්ණායක සම්පූර්ණ කර ඇති පවුලක් තෝරාගැනීම ප්‍රදේශයේ හැම දෙනාගේම ප්‍රසාදයට හේතු වී තිබේ.
ඊටත් වඩා විශේෂ හේතුව වන්නේ එදා රටම හඳුනාගත් කීර්තිමත් කලාකරුවෙකු එම පවුලේ සාමාජිකයෙකු විමයි. චිත්‍රපටි 150කට වඩා කැමරාකරණයෙන් දායක වූ එදා සිනමා ක්ෂෙත්රයේ “තලේ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද එම්. වී . හේමපාල මහතාගේ දියණිය වන්නේ යමුනා හේමමාලී මහත්මිය වීමයි. හදවත් රෝගියෙකු වන හේමපාලයන් දැඩි ආර්ථික අපහසුතා මැද රැක බලාගන්නේ ද ඇයයි.
මෙහිදී වර්ග අඩි 550ක නිවසක් ඉදි ඉදි වන අතර, අවම වශයෙන් මුළුතැන් ගෙයක්, සාලයක් සහ නිදන කාමරයකින් සමන්විතයි. රුපියල් ලක්ෂ හයක මුදලක් කොටස් වශයෙන් ලබාදෙන අතර, අවසානයේ ප්‍රජා සහභාගිත්වය ඇතිව ලක්ෂ දහයක වටිනාකම ඇති නිවසක් ඉදිවේ.