වෙළඳපොලේ දැනට පවතින ටයිල් හිඟතාවය සහ දේශීය ටයිල් කර්මාන්තශාලා විසින් නිෂ්පාදනය කරනු ලබන ටයිල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඊට විසඳුමක් ලෙස රට තුළ නව ටයිල් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සදහා ඉන්දියානු තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත, ඉන්දියාවේ 2 වන විශාලතම ටයිල් නිෂ්පාදන ආයතනය වන "කේරා විට්ට්රිෆයිට්" ටයිල් ආයතනයේ නිලධාරීන් සමග මූලික සාකච්ඡාවක් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද දින පැවැත්විය.
ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා ඉහළ ප්‍රමිතියෙන් හා උසස් තත්ත්වයෙන් යුතු ටයිල් මෙරටට ආනයනය කොට බෙදා හැරීමේ කටයුතු මේවන විට සිදු කරමින් පවතී.
පිටරටින් ටයිල් මෙරටට ගෙන්වීම වෙනුවට දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙරට තුළ නව ටයිල් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම රජයේ අරමුණයි. මේ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් මාසයක් ඇතුළත අත්සන් කිරීමට ද මෙහිදී තීරණය කරණ ලදි.මෙම අවස්ථාවට ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශයේ උපදේශක සහ කේරා විට්ට්රිෆයිට් ටයිල් ආයතනයේ උප සභාපති නිලේෂ් ජෙට්පියර් මහතා, එම ටයිල් ආයතනයේ අපනයන කළමනාකරු අශෝක් මක්වාවා මහතා, අමාත්‍යාංශ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා, අතිරේක ලේකම් (ඉදිකිරීම්) එස්.එම්.ඒ. නෙලුගොල්ල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.