සදුදා, 22 අගෝස්තු 2022 07:38

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ සිටම පහළටම පැතිර ඇති දූෂණය නතර කිරීමට පියවර ගන්නවා සභාපති රජීව් සූරියආරච්චි කියයි.

Written by 
Rate this item
(0 votes)

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ සිටම පහළටම පැතිර ඇති දූෂණය නතර කිරීමට පියවර ගන්නවා සභාපති රජීව් සූරියආරච්චි කියයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ සිට පහළටම පැතිර ඇති දූෂණය නතර කිරීමට පියවර ගන්නා බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ අධිකාරියේ ඇතැම් නිලධාරින්ට දේශපාලනය කිරීම සඳහා ලබා දී තිබු වරප්‍රසාද රැසක් තමන් ඉවත් කළ බවයි.

ඒ නිසා ඇතැම් වෘත්තිය සමිති සහ කණ්ඩායම් තමන්ට එරෙහිව විවිධ මඩ ප්‍රහාර හා කුමන්ත්‍රණ සිදු කරන බවද ඔහු පෙන්වා දෙයි.

පසුගිය යහපාලන රජය සමයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඇතැම් නිලධාරින්ට කුලී පදනම යටතේ ලබා ගත් කැබ් රථ ලබා දී තිබු බවත් එක් කැබ් රථයකට මාසයකට රුපියල් ලක්ෂ 02 ක් ගෙවීමට අධිකාරියට සිදු වූ බවත් පෙන්වා දුන් සභාපතිවරයා ඊට අමතරව ඔවුන්ට ඩීසල් ලීටර් 145 ක් ලබා දී තිබූ බවද කීවේය.

ඔවුන් සම්පූර්ණයෙන්ම දේශපාලන කටයුතු සඳහා යොදවා තිබූ බවත් ඔවුන්ගෙන් අධිකාරියට කිසිදු සේවයක් සිදු නොවු බව පැවසූ සභාපති රජීව් සූරියආරච්චි මහතා තමන් සභාපතිවරයා ලෙස වැඩ භාරගත් වහාම එම වරප්‍රසාද ඉවත් කොට ඔවුන්ගේ තනතුරුවලට අදාල පහසුකම් පමණක් ලබා දීමට පියවර ගත් බවද කීවේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා මේ බව සඳහන් කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට පසුගිය සිකුරාදා (19) සහභාගී වෙමිණි. මෙම වැඩමුළුව මහනුවර, රජපීහිල්ල ඔක්රෙ උත්සව ශාලාවේදී පැවැත්වුණි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස ණය ලෙස ලබා දී මෙතෙක් අධිකාරියට අයකර ගැනීමට නොහැකිව තිබෙන රුපියල් බිලියන 10 ක හිඟ මුදල අය කර ගැනීම සඳහා ඉලක්කගත වැඩපිළිවෙලක් සකස් කිරීම වෙනුවෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.

මෙම වැඩමුළුව එදින ඇතැම් මාධ්‍ය හදුන්වා දී තිබුණේ රජයේ චක්‍රලේඛන උල්ලංඝණය කරමින් සාදයක් පවත්වන බවටයි. ඊට ප්‍රතිචාර දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ රජයේ මුදල් වැය කර සාද පැවැත්වීමට තරම් තමන් ආර්ථික වශයෙන් පිරිහුණ පුද්ගලයෙකු නොවන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති රජීව් සූරියආරච්චි මහතා,

“ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ලොක්කෝ නුවර හෝටලක සාදයක කියලා අද මේ වැඩමුළුවට රටේ ජනමාධ්‍ය විසින් විශාල ප්‍රචාරයක් ලබා දී තිබෙනවා. පළමු දේ තමයි ඔබ සියළු දෙනා මේ පාර්ටි එකට ලැහැත්ති වෙලාද ආවේ කියලා මම අහන්න කැමැතියි. ජනමාධ්‍ය වලට මේ වැරදි තොරතුරු දෙන්නේ කවුද? වැඩක් අපි හරියට කරන්න ගියාම එය කරන්න දෙන්නේ නැත්තම් අපි ගන්න ඊළඟ පියවර කුමක්ද?

මම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පැමිණෙන විට මේ ආයතනයේ යම් යම් දේශපාලන තනතුරු කිහිපයක් තිබුණා. ඒ ඒ අයට දේශපාලනය කරන්න දාගෙන තිබුණ තනතුරු කිහිපයක්. මම ඒ තනතුරුවලට තිබුණ වරප්‍රසාද සියල්ල ඉවත් කළා. මම ඒ කවුරුන්ද කියලා දැකලත් නෑ. ඒ අය එක්ක මට තරහකුත් නෑ. ඔවුන්ට ලබා දී තිබු කැබ් එකට රෙන්ට් එක ලෙස රුපියල් ලක්ෂ දෙකක් ගෙවනවා. ඩීසල් ලීටර් 145 ක් ලබා දෙනවා. රුපියල් 65,000 ක් ගෙවනවා. මේ වගේ දේවල් වෙනකොට මාධ්‍යවලට තොරතුරු දුන්න අය කොහෙද හිටියේ. නිදාගෙනද හිටියේ. මේ සියළු වරප්‍රසාද ඉවත් කරන විට තමයි මේ කුමන්ත්‍රණ ආරම්භ වෙන්නේ.

මේ ආයතනය අහිංසක මිනිස්සුන්ට සේවාව සපයන්න බැදුණු ආයතනයක්. නමුත් පසුගිය කාලය තුළ මේක හොර ගුහාවක් බවට පත් කරලා තිබුණා. මේ ආයතනයේ ඉහළ සිට පහළ තෙක්ම දූෂණයට ලක්වෙලා. ජනතාවගේ නිවාස ගැටළුව විසදනවා වෙනුවට තමන්ට නැති වරප්‍රසාද ගන්න මේකේ සමහර ලොක්කෝ කටයුතු කරලා තියෙනවා. අපි ඒ සියළු දූෂණ වංචාවන් නතර කරලා මේ ආයතනය එම ආයතනයේ සැබෑ අරමුණු වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් බවට පත්කරනවා.

මා පැමිණි පසු සාමන්‍යාධිකාරී ඇතුළු සියළුම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සමඟ රැස්වීම කිහිපයක් පැවැත්වුවා. ඒ සෑම රැස්වීමකම මා ස්මතු කලේ සේවකයින්ට ඉදිරියේදී වැටුප් ගෙවන්න තියෙන තත්ත්වය කුමක්ද කියා. අපිට තිබෙන්නේ මිලියන 100 යි. ගිය මාසේ පඩි ගෙවන්නත් මිලියන 107 ක් ගියා. ගිය මාසේ මුදල් කිරීම මිලියන 153 යි. මාර්තු මාසේ එකතු කිරීම් මිලියන 308 කට පමණ ගිහින් තිබෙනවා. එවිටත් මේ රටේ අර්බුදය තිබුණා. පෙබරවාරී මිලියන 284 එකතු කිරීම් කරලා තිබුණා. මම සභාපති ලෙස වැඩ භාර ගත්තේ අරගලය තුළයි. ණය එකතු කිරීම අපි ලොකු වැටීමකට ලක්ව තිබෙනවා.

අද මේ වැඩමුළුව සංවිධානය කරන්නේ මාර්තු මාසේ අය කිරීම් සිදු කළ ආකාරයට ගෙනයාමටයි. මාධ්‍යවල තිබූ ආකාරයට පාර්ටි දාන්න නෙමෙයි. පාර්ටි දාන්න මම හිගන්නෙක් නෙමෙයි ඒක මට ගෙදර කර ගන්න පුළුවන්. ආයතනයේ සියළු දෙනාටම නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දී මගේ නිවසේ නොමිලේ පාර්ටි එකක් දෙන්න පුළුවන් හැකියාව මට තිබෙනවා. එක කොළ කෑල්ලක් අධිකාරියෙන් ගන්න අවශ්‍යතාවයක් මට නැහැ. මට ඕනිනම් මගේ මුදලින් හිල්ටන් එකේ පාර්ටි එක දෙන්න එයත් මම කරනවා.

අධිකාරිය සතු විශාල ඉඩම් ප්‍රමාණයක් බලෙන් අල්ලන් ඉන්නවා අපි දුටුවා. අද අධිකාරියට කරන්නට දෙයක් නෑ. කුණ්ඩසාලේ මහවැලි ගඟ අයිනේ තිබෙන අපේ ඉඩම් විශාල ප්‍රමාණයක් අල්ලගෙන. ඔවුන් එම ඉඩම්වල නිවාස ඉදිකරලත් අවසන්. අන්තිමට ඒ වගකීම එන්නේත් දිස්ත්‍රික් කළමනාකරුටයි. ඇයි මේ ඉඩම් වල නිවාස හදනකන් බලන් ඉන්නේ කියා. අනවසර නියමානුකූල ඉඩම් නියමානූකූල කරන්න ඊළඟ ලිපිගොනු එනවා. අපේ ඉඩම් සියල්ල එහෙමද දෙන්නේ. ඒ ඉඩම් ගන්න පුළුවන්ද? ඒ මුකුත් කරන්න බෑ. බලන් ගියාම ඒ මිනිස්සු අහිංසකම මිනිස්සු. ඒ මින්සුන්ගේ ඒ ගෙවල් විනාශ කරලා අපිට ඒ ඉඩම් ගන්න බෑ. අපි සාධරණයක් ඉෂ්ඨ කරන්න ඕනේ හදවතක් තිබෙන මිනිස්සු ලෙස. දිවයින පුරා තිබෙන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩම් සංරක්ෂණය කිරීම සියළුම දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ වගකීමක්.”

අදහස් දැක්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමන්‍යාධිකාරී කේ.ඒ.ජානක මහතා,

2015- 2019 කාලය තුල නිවාස අදිකාරිය ලංකාවේ සෑහෙන්න ණය සහ ආධාර දුන්න ආයතනයක්. අවුරුද්දකට තිබ්බ ඉලක්කය බිලියන ගණන්. ඒ සල්ලි මදි වෙලා නිවාස අධිකාරියේ තිබ්බ සියලුම වත්කම් විකුනලා ආයතනයේ ස්ථාවර තැන්පත් මුදලුත් පාවිච්චි කරලා ණය ලබා දුන්නා. ඔබට මතක ඇති ඩාලි පාරේ ඉඩමකින් මිලියන700 ගානක් අරගෙන ඒ මුදලම ණය දුන්නා. හැබැයි ණය දුන්නේ පළමු වාරික දෙවන වාරික පමණයි. ආයතනය සල්ලි දීලා ඉඩම් අරගෙන ඒවා නිකම් බෙදලා දුන්නා.

2019 අවසන් වෙද්දී තිබූ එම තත්වය තුළ 2020 ජනවාරි 1 වන විට නිවාස අධිකාරිය රටේ ජනතාවට බිලියන 26ක් ණයයි. එය තමයි ඇත්ත. ඒක ඔප්පු කරන්න අපි ගාව සාක්ෂි තිබෙනවා. ණය අයකිරීමත් ඉහල අගයක තියෙන්න ඕනි. ණය දෙද්දි අයකිරීමත් වෙන්න ඕනි. නමුත් ණය අය කිරීම තිබ්බේ 65% යි. ඒ කාලයේ උවමනාව තිබ්බේ පුද්ගල ණය දීමේ ප්‍රමාණය වැඩි කර ගන්න විතරයි.”

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් දිස්ත්‍රික් කාර්යාලයන් හරහා ඒ ඒ දිස්ත්‍රික්කයන් වලට ජනතාවට ලබා දී ඇති ණය මුදල් ප්‍රමාණය, අයකර ගැනීමට තිබෙන ප්‍රමාණයන් පිළිබඳ තොරතුරු මෙහිදී දිස්ත්‍රික් කළමනාකරුවන් ඉදිරිපත් කළ අතර මේ වසර අවසන් වීමට පෙර මාසිකව රුපියල් මිලියන 300 ක මුදලක් එකතු කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීම සම්බන්ධයෙන් ද මෙම වැඩමුළුව තුළ සාකච්ඡාවට ලක්වුණි.

Read 389 times Last modified on බ්‍රහස්පතින්දා, 25 අගෝස්තු 2022 04:47

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Copyright © 2016 National Housing Development Authority Sri Lanka - All rights reserved
නිර්මානය ජා.නි.සං.අධිකාරියේ වෙබ් අඩවි සංවර්ධන හා නඩත්තු ඒකකය - අවසන් වරට යාවත්කාලීන කිරීම : 07 February 2023.